ජස්ටින් පීරිස් දැරණියගල (1903-1967)
By Angel Siththaravi
කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ පෝල් පීරිස් ගේ පුතෙකු වන ජස්ටින් පීරිස් දැරණියගල මහතා මුලින්ම චිත්‍ර කලාව පිළිබඳ හදාරන ලද්දේ මුඳළිඳු අමරසේකර හා සී. එෆ්. වින්සර් (C. F. Winzer) යන ආචාර්යවරුන් යටතේය. 1921 දී එංගලන්තය බලා පිටත් වන ඒ මහතා විවිධ සාහිත්‍යධරයන් හා කලාකරුවන්ගේ ඇසුර නිසා කලාව කෙරෙහි තිබූ ඇල්ම වර්ධනය වීමත් මෙරට කලාවේ නව පෙරළියක් ඇති කරලීමට පුරෝගාමී වූ ලයනල් වෙන්ඩ්ට් හා හැරී පීරිස් ගේ හමුවීමත් ඔහුගේ ගමන් මග විශාල වෙනසකට ලක් කළේය.
1926 දී ලන්ඩනයේ "ස්ලේඩ්" ලලිත කලායතනයෙන්ද (Slade School of Fine Art) 1928දී පැරීසියේ "ජුලියන්" කලායතනයෙන්ද (Académie Julian) තව දුරටත් චිත්‍ර කලාව ප්‍රගුණ කර 1926 දී ලංකාවට පැමිණීමෙන් පසු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන රැසක් මෙරටදී මෙන්ම විදෙස් රටවලද පවැත්වීමෙන් ප්‍රසිද්ධියට පත් විය. 1936 දී ජෝර්ජ් කීට් සමඟ කොලඹ කලාභවනේ පැවැත්වූ ප්‍රදර්ශනය නිසා මධ්‍යම පාන්තික ජනතාව අතර නමක් දිනා ගැනීමට ඔහු සමත් විය. 1943 දී ලංකාවේ චිත්‍ර කලාවේ මහා පෙරළියක් කිරීමට සමත් වූ 43 කණ්ඩායම ඇරඹී මේ පුරෝගාමියෙකු වූ මොහු නූතන කලාව මෙරට කතාබහට ලක් නොවූ අවධියක ඒ රටට හඳුන්වාදුන් ශිල්පියෙකි.
1953 දී පැරීසියේ පෙටිට් පැලස් (Petit Palais) කලාගාරයේ 43 කණ්ඩායමේ චිත්‍ර සමඟ ඔහුගේ නිර්මාණද ප්‍රදර්ශණය කෙරුණු අතර එහිදී ඔහු ප්‍රථමවතාවට ප්‍රංශ විචාරකයන්ගේ ඇගයීමට ලක්විය.
සංස්කෘතික වශයෙන් අප චිත්‍ර කලා සම්ප්‍රදායයන් 2කට උරුමකම් කියයි.
- චීන සම්ප්‍රදායය
- ඉන්දීය සම්ප්‍රදායය
20 වන සියවසේ ලංකාව ඉන්දියානු සම්ප්‍රදයයේ දරුවෙකු පමණක් නොව ලෝක සමාජයේ සාමාජිකයෙකු විය යුතුය යන්න ජස්ටින් ඔහුගෙ නිර්මාණ වලින් හෙළි කරයි. 1954 බෝස් අාර්ට් (Beaux Arts) වලදි පැවති ප්‍රදර්ශනයේදී ඉංග්‍රීසි කලා විචාරක මොරිස් කොලිස් (Maurice Collis) මොහුව හඳුන්වා දුන්නේ ප්‍රකාශන වාදියෙකු ලෙසය. ඔහුට සමකළ ප්‍රකාශනවාදියෙකු එදා එංගලන්තයේ නොසිටි බවටද ඔහු සටහනක් තබා ඇත.
20 වන සියවසේ අපරදිග චිත්‍ර කලාවෙ ඇතිවූ විවිධ වර්ධනයන් හා ශෛලීන්ගේ අභාසයෙන් පෝෂණය ලැබූ මොහුගේ සිතුවම් තුළ පැබ්ලෝ පිකාසෝ (Pablo Picasso), හෙන්රි මතීස් (Henri Matisse), ජොර්ජ් බ්‍රාක් (Georges Braque), පෝල් ගොගෑන් (Paul Gauguin) වැනි ව්‍යුක්ත රූපී හා පශ්චාත් උපස්ථිති වාදීන්ගේ ශෛලීන්වල සංකලනයන් දිස්වන බව විමසිල්ලෙන් බැලූවිට පෙනීයයි. 43 කණ්ඩායමේ සෙසු ශිල්පීන්ට වඩා පරිණත බවක් මොහුගේ සිතුවම් තුළ තිබේ යැයි සැලකෙන්නේ ඉහත කී අභාසයන් නිසා විය හැක. හෙන්රි මතීස් ගේ සිතුවම් ශෛලිය එතුමා කෙරෙහි ප්‍රබලවම බලපානු ලැබ ඇත. මිනිසුන්ගේ දුක් වේදනා, කළකිරීම් තියුණු ලෙස නිරූපනය කිරීමට එතුම සමත් වූයේ මතීස් ගේ මෙම රීතියේ බලපෑම මත බව විචාරක මතයයි.
මානව රූප හා ද්‍රව්‍ය බලා ඇඳීමෙන් මනා නිපුණත්වයක් දැක්වූ මොහුගේ චිත්‍ර කලාව ඒ මත පදනම් වූ බවක් දක්නට ලැබේ. බොහෝ සිතුවම් ජෝර්ජ් කීට් ගේ සිතුවම් මෙන් ශෘංගාරාත්මක හැගීම් දනවන සුළු වුවද මිනිසුන්ගේ දුක්ඛ දොමනස්සයන් හා වේදනවන් සිය තෙලිතුඩට හසු කරගනු ලබන දැරණියගල ශෘංගාර රස ජනනයට වඩා එම සිතුවම් මඟින් මනෝ විද්‍යාත්මක ලක්ෂණ එළිදක්වයි.
සොභාදහමේ දකින දෙය ඒ අයුරින්ම පිටපත් නොකොට අර්ධ ශෛලිගත බවකින් එය දැක්වීමට මෙම ශිල්පියා දරා ඇති උත්සාහය ප්‍රශංසනීයය. දරු සෙනෙහස, මිනිසුන් හා සතුන් අතර ඇතිවන භාවමය සබඳතාවය කාව්‍යමය අරුතින් ඉදිරිපත් කිරීමට මොහු දක්වා ඇත්තේ ඉමහත් දක්ෂතාවයකි. ජොර්ජ් කීට් මෙන් මොහුද සමකාලීන සම්ප්‍රදායය ඉස්මතු කිරීම සඳහා යොදාගෙන ඇත්තේ රෝස හා දුඹුරු පැහැයන්ය. ඉන් ඉතා සියුම් හා මෘදු හැගීම් දැනවීමට හෙතෙම සමත් වී තිබේ. සාම්ප්‍රදායික කලාරීතියෙන් බොහෝ සෙයින් බැහැර වී බටහිර චිත්‍ර කලාවේ නව ආරකින් සංකලනය කොට ඔහු යොදාගනු ලැබූ කැඩුනු රේඛා හේතුකොට ගෙන මිනිස් රූපවල යම් විකෘති ස්වභාවයක් ඉස්මතු වී ඇත. එය ඔහුටම අවේනික වූ ස්වභාවයකි. එම රීතිය තුළ දැරණියගල සිය කලාව කෙරෙහි දැක්වූ අකාල්පය හා අවංක බව නිරූපණය කරයි. ඔහු වර්ණ යොදගෙන ඇත්තේ ගූඪත්වය පිළිබඳ හැගීම් දැනවීමට සමත්වන අයුරිනි. වර්ණ හා රේඛා මඟින් ප්‍රබල හැඟීම් ජනනය කිරීමට සමත් ආටෝප බහුල චිත්‍ර සම්ප්‍රදායක් එතුමා කෘතීන් හි දැකිය හැක.
ඔහුගේ සිතුවම් අතර "ආදරවන්තයෝ" නම් සිතුමව ප්‍රධාන වේ. මෙම සිතුවමින් කම්සැප විඳින අයුරු බාහිර වශයෙන් දර්ශනය වුවද එය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ගැහැණිය විඳින වේදනාව, ලැජ්ජාව, ආදරය, සෙනෙහස, ත්‍යාගශීලී බව ආදී හැඟීම් දනවයි. මෙහි රේඛා හා වර්ණ පදාස වශයෙන් දක්වා ඇත. මෘදු බව දැක්වීම සඳහා කහ, රෝස හා අලු වර්ණ යොදාගෙන ඇත.
"තාපසාරාමය අසළ පව්ව" නැමැති චිත්‍රය පොල් අතු සෙවිලි කළ ගෙයක්ද ගස් තුනක කඳන්ද දක්නට ඇත. මෙම චිත්‍රයේ එතුමා එක්සත් රාජධානියේ ස්ලේඩ් හි ලද පුහුණුව මොනවට කියාපාන්නකි. එහි පරිසරය නිර්මාණය කිරීම සඳහා අනුගමනය කර ඇති ශෛලිගත ක්‍රමයෙහි දැරණියගල චිත්‍ර කලාව පිළිබඳව මනා ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරතවූ අයුරු කියාපායි.
මතීස් ගේ ශෛලිය දැරණියගල ගේ සිතුවම් කෙරෙහි ප්‍රබල ලෙස බලපෑ අයුරු කියාපාන ප්‍රධානතම සිතුවමක් ලෙස "මල් බඳුන සහ ගැහැණු දෙදෙනා" නැමැති සිතුවම හැදින්විය හැක. මෙම මතීස් නැමැති අද්විතීය ප්‍රංශ සිත්තරාගේ ආභාසය හේතුකොටගෙන දැරණියගල කලාකරුවාගේ සිතුවම් නව මුහුණුවරක් ගත් බව විචාරක මතය වී ඇත.
"රන්මාළුවා අතැති දැරිය" නම් සිතුවමෙන් දැරණියගල සිය හැඟීම් නිරූපණය කරන්නේ කිසිදු ආයාසයකින් තොරවය. දැරියගේ මුහුණින් දුක්මුසු බව දක්වා ඇති ආකාරයෙන් හා වර්ණ යොදා ඇති අයුරින් මෙම සිතුවම තුළින් අසාමාන්‍ය හැගීම් මතු කෙරෙන බවට සැලකෙතත් මෙය යුනෙස්කෝ සම්මානය ද හිමි කරගත් අගනා කෘතියකි.
ආලෝකය හා වර්ණ සංයෝජනය මඟින් සිය චිත්‍ර කරණයේ ස්වාධීනත්වය නිරූපිත සිතුවම් අතර "මනාලිය", "එළුවා", "කැඩපතක් ඇතැති දැරිය" විශේෂයෙන් සඳහන් කල යුතුය.
මොහුගේ සිතුවම් කිහිපයක්,
- ප්‍රේමවන්තයෝ
- කැඩපත අසළ සිටින කාන්තාව
- මාතෘත්වය
- අඳ මව සහ දරුවා
- සිත්තරා හා නිරූපිකාව
- පියනෝ පාඩම
- ධීවරයා
- රන් මාළුවා හා දැරිය
"ඔහු බොහෝ චිත්‍ර ඇන්දේය. ඒ සියල්ලෙහි නිරූපනය වූයේ ඔහුගේ කැළඹුනු සිතය. කිසියම් අස්ථාවර හා දුක්ඛදායක හැගීමක් ඔහුගේ සිතුවම් තුලින් බොහෝවිට මතුවිය. දැරණියගල තමාටම අවේණික වූ වර්ණ මඟින් විකෘති මිනිස් රූප ඇන්දේ තමා තුළ වූ කිසියම් අවිඥානික භීතියක් නිසා බව කිව යුතුය. එහි ප්‍රතිඵලය වූයේ හුදු විස්තරාත්මක සහ නියෝජනාත්මක චිත්‍ර වෙනුවට භාවපූර්ණ නව චිත්‍ර රීතියක් ඔහු තුලින් බිහිවීමයි" (ඩී. බී. කප්පාගොඩ, තුළන, 1989, 2 වනකාණ්ඩය, තෙවැනි කලාපය)
ලාංකීය සිතුවම් කලාවට නව රටාවක් එක් කරමින් අනගිතම සිත්තම් කරණයක යෙදුනු මෙම භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ මහා කලාකරුවා 1967 මැයි මස 24 වන දින මෙලොව හැර ගියේ තවත් යුග ගනණාවකට ලාංකීය කලාකෙත අස්වද්දන්නට බොහෝ දෑ ඉතිරි කරමිනි.